(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාගේ නඩුවට අදාල සිඩ්නි දුම්රිය ස්ථානයේ වීඩියෝ දර්ශන සහ වෙනත් තොරතුරු පරික්ෂා කිරීමට ඔහුගේ නීතීඥවරුන්ට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය.

ගුණතිලක මහතාගේ නීතීඥවරුන් සිඩ්නි දුම්රිය ස්ථානයේ වීඩියෝ දර්ශන සහ නඩුවට අදාල වෙනත් තොරතුරු ලබා ගැනීම සඳහා සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර මහෙස්ත්‍රාත් රොබර්ට් විලියම්ස් මහතා එම ඉල්ලීම සළකා බලමින් එම වීඩියෝ දර්ශන සහ තොරතුරු පරික්ෂා කිරීමට ගුණතිලක මහතාගේ නීතීඥවරුන් අවසරය ලබා දුන්නේය.

ධනුෂ්ක ගුණතිලක අධිකරණයේ පෙනී සිටීම අවශ්‍ය නොවන බව සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය  නීතීඥවරුන්ට දන්වා තිබිණ.

ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික අතවර කළ බවට ඕස්ට්‍රේලියානු තරුණියක් සිදුකළ පැමිණිල්ල මත කාන්තාවකගේ කැමැත්තකින් තොරව ලිංගිකව එකතු වීමේ චෝදනා 4 ක් මත එම මහතාව ඉකුත් 6 වැනිදා අත් අඩංගුවට ගත් අතර අනතුරුව සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.