(අංජුල මහික වීරරත්න සහ රෝහණ චන්ද්‍රදාස)

දේශපාලකයන් විසින් රටේ ඉඩම් අවභාවිත කිරීමේ සංස්කෘතිය වත්මන් රජය අවසන් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසරපත්‍ර සහ දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට තම ඉඩමෙහි පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භූමිය මානව අවශ්‍යතා සහ සංවර්ධන අවශ්‍යතාවලට යොදවා ගැනීමේදීත්, එම භූමිය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.

ඒ අනුව, මේ වන විටිත් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසරපත්‍ර හා දීමනාපත්‍රවල කොන්දේසි ඉවත් කර එම දීමනාපත්‍ර සඳහා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 2 වගන්තියට අනුකූලව නිදහස් ප්‍රදාන පත්‍රයක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ස්වකීය කැමැත්තෙන් රජයට භාරදෙන අවසරපත්‍ර හා දීමනාපත්‍ර සඳහා ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍රය ලබා දීම සිදු කෙරෙන අතර වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර 500ක් ප්‍රතිලාභීන් වෙත බෙදා දීම සිදු කෙරුණු අතර, ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව ප්‍රතිලාභීන් 50 දෙනෙකු වෙත ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ප්‍රදානය කෙරිණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව ලෝකයකට ප්‍රවිශ්ට වීමේදී ජනතාවගේ ඉඩම් සංකීර්ණ නීතිවලින් බැඳ තැබීම අවශ්‍ය නොවන බව තම රජය විශ්වාස කරන බවයි.