(අංජුල මහික වීරරත්න)

රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධව “දේශගුණික විපර්යාස අධ්‍යයන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්” පිහිටුවීම සම්බන්ධයෙන් වූ ව්‍යාපෘති වාර්තාවක් එහි උපකුපතිවරයාගේ නියෝජිත මහාචාර්ය ,ආචාර්ය පිරිසක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී බාර දුන්හ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවීමට පැමිණි රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර්.පී.අයි.ආර් ප්‍රසන්න මහතා ප්‍රමුඛ කණ්ඩායම පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස අධ්‍යයනය වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට ගෙන ඇති තීරණයට සමගාමීව මෙම මධ්‍යස්ථානය ද පිහිටුවිය හැකි බවයි.

ඔවුන් ඉදිරිපත් කළ ව්‍යාපෘති අධ්‍යයන වාර්තාවට අනුව දේශගුණික විපර්යාස  කළමනාකරණය සඳහා  පර්යේෂණ පැවැත්වීම, එම මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව  සම්මන්ත්‍රණය පවත්වා දේශගුණික විපර්යාස හා පර්යේෂණ සම්බන්ධ දැනුම ජනතාව අතර ව්‍යාප්ත කිරීම, කලාපීය සහ ජාතික  දේශගුණික විපර්යාස සම්බන්ධ සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම,  දේශගුණික ක්‍රියාකාරී ප්‍රතිපත්ති මෙන්ම නීති රීති සම්පාදනයේ දී අදාල ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආයතන සමඟ ද කටයුතු කිරීම, දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ එම තත්ත්වයන් අවම කිරීම සඳහා ක්‍රියාකාරී අයුරින් ප්‍රජාවට සහාය වීම යන කරුණු ඇතුලත් කර ඇත.