(අංජුල මහික වීරරත්න)

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීම සඳහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරීම අරමුණු කර ගනිමින් විශේෂ පනත් කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම නව පනත ගෙන ඒමට අවධානය යොමුව ඇත.

ආන්තරායක ඖෂධ හා විෂ අබිං ආඥා පනත සංශෝධනය කිරීම වෙනුවට නව පනතක් මේ වෙනුවෙන්ම ගෙන ඒම සුදුසු බවට මෙහිදී සාකච්ඡා වී තිබේ.

එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කොට නව පනත ගෙන ආ යුතු බවයි.

පාසල් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් නීතියට හසු කර ගැනීම වෙනුවෙන් නියමයන් රාශියක් මෙහිදී ජනාධිපති ආරක්ෂක කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ආරක්ෂක අංශ වෙත ලබාදී තිබේ.

දරුවන් මතට ඇබ්බැහි කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සාගල රත්නායක මහතා මෙහිදී දැනුම් දී ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාලයේ සිටින කුමන තාරතිරමක පුද්ගලයකු වුවත් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවට ද ඔහු වැඩි දුරටත් උපදෙස් දී තිබේ.