(අංජුල මහික වීරරත්න)

සිය වන නිදහස් සැමරුම් දිනය වන විට  ඉහළ ආර්ථික සමෘද්ධියක් සහිත ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් වූ ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා අද ගත යුතු පියවර නො බියව ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 75 වන ජාතික නිදහස් දින සමරුව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඒ සඳහා ජනතා විශ්වාසයත්, ආශිර්වාදයත් බලාපොරොත්තු වන බව පවසන ජනාධිපතිවරයා මෙසේද කියයි.

75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අතිශයින් ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයකි.

පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ ය. එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අපගේ මූලික අභිප්‍රාය යි.