(නිමල් ජයරත්න)

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අද සවස යළි විදුලිය සැපයූ බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.

විදුලි බිල නොගෙවූයේ යැයි ඊයේ (28) සවස ආරන්‍ය සේනාසනයේ  විදුලිය විසන්ධි කළේය.

මේ බව ‍ දිනපතා ලංකාදීප පුවත්පත  අනාවරණය කිරීමත් සමඟ ඊට බලධාරීන්ගේ අවධානය යොමුවීමෙන් අද සවස විදුලි ලබාදීමට පියවර ගත් බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.

තමන් වහන්සේ මේ පිළිබඳව ලංකාදීපයට පුන්‍යානුමෝදනාත්මක ස්තූතිය පිරිනමන බවත්  ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් අනාවරණය කිරීමත් සමගම මේ පිළිබඳ පොළොන්නරු දිස්ත්‍රික් පක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වී පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අඛණ්ඩව විදුලිය ලබාදීම නොමිලේ සිදුකර ඇති අතර එලෙස අඛණ්ඩව ලබා දුන් විදුලිය ඉකුත් 28 වෙනිදා ඉතිහාසයේ පළමුවරට විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබුණි.

මේ හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිලන්, භික්ෂූන් වහන්සේලා දෙසියනමක් දැඩි අසීරුතාවට පත් සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.