(ඉන්දිකා රාමනායක)

මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නමැත්තා මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 120 ක ට අධික දේපළ හා මුදල් අධිකරණයෙන් ලබාගෙන නියෝගයකට අනුව තාවකාලිව තහනම් කර විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම දේපළ අතර බැංකු ගිණුම් හා ස්ථාවර තැන්පතුවල තිබු රුපියල් කෝටි 10 ට අධික මුදලක් ,සුඛෝපභෝගි මෝටර් රථ 11 ක්, කිලෝ 5 ක රන්බඩු, ඉඩම්, නිවෙස් හා හෝටලයක් අයත් වන උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මේවා මිළදී ගැනීමට මුදල් උපයා ආකාරය සම්බන්ධයෙන් තහවුරු වන තොරතුරු සැකකරු විසින් මෙතෙන් හෙළි කිරීම අපොහොසත් වීම නිසා මෙම දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තාවලිකාව තහනම් නියෝග ලබාගෙන මෙම විමර්ශන සිදුකරන බවද එම උසස් නිලධාරියා කීය.

දෙමටගොඩ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවසක්, දෙමටගොඩ වේලුවන පාරේ පිහිටි සුඛෝපභෝගි නිවසක්, බණ්ඩාරගම ප්‍රදේශයේ රුපියල් කෝටි 2 ක ට අධික වටිනා නිවසක්, මීගමුව ප්‍රදේශයේ රුපියල් කෝටි 30 ට අධික වටිනා හෝටලක්. ද මෙම සෙසු දේපළ වලට අයත් වන පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඉදිරියේ අධිකරණයට කරුනු ඉදිරිපත් කර තහනම් කිරීමට පියවර ගන්නා බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.