කොටි සංවිධානයේ සිටි කුමරන් පද්මනාදන් සතු දේපොළ රාජ සන්තක නොකර ඒ වෙනුවට සිංහල ව්‍යාපාරිකයින්ගේ දේපොළ රාජසන්තක කිරීමේ අවනීතිය රජ කර වීමට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ සේදවත්තේ දී පැවැසීය. අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට යන පනත යටතේ විශාල ලෙස ලාභ උපයන සිංහල ව්‍යාපාර රජයට පවරා ගනිමින් සිංහල ව්‍යාපාරික ප‍්‍රජාවට පහරදී ශ්‍රී ලංකාව ලෝකයේ තව තවත් පහළට ඇද දැමීමේ පාප කර්මයෙන් වැළකී සිටීමට ආණ්ඩුව ක‍්‍රියා කළ යුතු යැයිද මේ පනත සංශෝධනය කරමින් එසේ ක‍්‍රියා නොකළහොත් ඊට එරෙහිව ජනතාව සමග එක්ව ඉදිරි පියවර ගන්නේ යැයිද හේ සහතික විය. දයා ගමගේ මහතාගේ සෙවනගල සීනි සමාගමත්, හැරී ජයවර්ධන මහතාගේ පැලවත්ත සීනි සමාගමත්, රවි වෙත්තසිංහ මහතාගේ ලංකා ට‍්‍රැක්ටර්ස් සමාගමත් අපේ රටට සම්පතක් වුවත් එම සමාගම්ද රජයට ගැනීමට යනවා. සිංහල ව්‍යාපාරික ප‍්‍රජාව ඉතාම ඉහළ ආර්ථික මට්ටමක සිටියත් අවාසනාවකට මෙන් 1956 සිට ඔවුන්ගේ වත්කම් සියල්ල අහිමි වීම ආරම්භ වුණා. මේ ව්‍යාපාරිකයින් අතරින් බහුතරය එක්සත් ජාතික පක්ෂයට සහය දෙනවා යැයි කියමින් එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා සිය පාලනය යටතේ බස් ව්‍යාපාරය ජනසතු කළා. පසුව සිලොන් ඉන්ෂුවරන්ස් ඇතුළු රක්ෂණ සමාගම් සියල්ලම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය යටතේ ජන සතු කළා. ලේක්හවුස් ආයතනය රජයට පවරාගත් අතර දවස පත්තර කාර්යාලය වසා දැමුවා.