යහපාලන ආණ්ඩුවේ ගමනට දොස් කියන, විවේචනය කරන සියලු දෙනාම කාලයත් සමග අපේ ගමනට එකතු කර ගෙන ඉතිහාසයේ කිසි දිනෙක නොවූ සංවර්ධනයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැදුරේ දී අද පැවසීය.

සුබ පැතීමට ආ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍යවේදීන් අමතමින් වික්‍රමසිංහ මහතා කීවේ යහපාලනය උදා වී වසරක් පමණක් බවයි.

‘‘වසරක මේ කාලය ඇතුළත දී රටට නිදහස ලබා දීමට අපට හැකියාව ලැබුණා. විධායක බලතල අඩු කරන්නැයි පළමු වරට රටේ ජනාධිපතිවරයකු එකඟතාව පළ කළා. එමෙන්ම මැතිවරණ කොමසාරිස්ට පූර්ණ බලතල ලබා දී නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්නට අපට හැකි වුණා.

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු ප්‍රධාන පක්ෂ දෙක එක් වී ජාතික ආණ්ඩුවක් ඇති කළා. ඒ අනුව ජාත්‍යන්තරයෙන් අප රටට එල්ල වූ මානව හිමිකම් ප්‍රශ්න ජය ගැනීමටත් අපට හැකියාව ලැබුණා.

ජාත්‍යන්තරය සමග අත්වැල් බැදගෙන මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මූලික පියවර අප රජය විසින් ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාතේ සිට ත්‍රිකුණාමලයටත්, හම්බන්තොට සිට යාපනයටත් එම දියුණුව අත් කර දීම අපේ අපේක්ෂාවයි. එම දියුණුව ඇති කිරීම සඳහා මෙරට සියලුම ජනතාවට අප සමග අත්වැල් බැඳගන්නැයි ආරාධනා කරනවා. සියලු රට වැසියන්ට නව වසර වෙනුවෙන් සුබ පතනවා.‘

_DSC0609 _DSC0614 _DSC0617 _DSC0642 _DSC0669 _DSC0679 _DSC0693 _DSC0736