ඇමෙරිකා ඉරාන යුද්ධයේ දී, ඇමෙරිකාවට සහාය නොදැක්වීම හේතුවෙන්, දකුණු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

තමන් ගත් මෙම තීරණය, තමන් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ පවතින යහපත් සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට හේතුවක් වනු ඇතැයි ද ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී උතුරු කොරියා නායක කිම් ජොං උන් සමඟ යහපත් සබඳතා පැවැත්වීය. එවකට දකුණු කොරියානු රජය සහ චීනය ඊට මැදහත් වී සහාය දැක්වීය. 

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතරේ අවස්ථා තුනකදී හමුවීම් තුනක් සිදුවිය. එක් අවස්ථාවක, උතුරු කොරියා සහ දකුණු කොරියා දේශසීමාවේ දී පවා ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හමුවක් පැවැත්විණි. එසේ වුවත්, එම මත ගැටුම් හේතුවෙන් එම සබඳතා වර්ධනය වූයේ නැත.

කොරියන් යුද්ධයෙන් පසු ඇමෙරිකන් හිතවාදී දකුණු කොරියාවේ ඇමෙරිකන් හමුදා කඳවුරු ඇත. වාර්ෂිකව මෙන්ම, මාස කීපයකට වරක් ද ඇමෙරිකන් හමුදා සහ දකුණු කොරියානු හමුදාව එක් වී ඒකාබන්ධ යුද අභ්‍යාස පවත්වයි. මෙම යුද අභ්‍යාස තමන්ට තර්ජනයක් බව උතුරු කොරියාව තරයේ පවසා ඇත. චීනය ද එම යුද අභ්‍යාස සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.

ට්‍රම්ප් පවසන්නේ, ඇමෙරිකා සහ දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාස සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් එම පිරිවැයෙන් වැඩි ප්‍රමාණයක් දරනු ලබන්නේ ඇමෙරිකාව බවත්ය. මෙය ද කනස්සල්ලට කාරණාවක් බව ට්‍රම්ප් පෙන්වා දී ඇත.

ඇමෙරිකා ඉරාන ගැටුම ආරම්භයේ දී ඉරානය නිරායුධ කිරීම සඳහා ඇමෙරිකාව ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් ට්‍රම්ප් ඉල්ලා සිටි නමුත්, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුං ඊට කැමැත්ත පළ කළේ නැත. මෙය ද සැලකිල්ලට ගනිමින් යුද අභ්‍යාස නැවැත්වීමට තමන් තීරණය කළේ යැයි ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. යුද අභ්‍යහාස එක සැණින් අඩු කිරීම සිදු නොවනු ඇති බවත්, ඉදිරියේ දී ඒවා සීමා වනු ඇති බවත් ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ එම තීරණය පිළිබඳව තමන්ගේ කනගාටුව පළවන බවත් ට්‍රම්ප් පවසයි. උතුරු කොරියාව විසින් එක්සත් ජාතීන්ගේ තහනම ද නොතකා මෑතකදී සිදුකළ බැලස්ටික් මිසයිල පරීක්ෂණ සහ රුසියා යුක්රේන යුද්ධය සඳහා උතුරු කොරියානු සෙබළුන් යෙදවීම හමුවේ කලාපීය ආතතිය ඉහළ ගොස් ඇති පසුබිමක මෙවැනි ප්‍රකාශයක් කිරීම විශේෂත්වයක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර උල්චි ෆ්‍රීඩම් ෂීල්ඩ් නමැති දින 11 ක ඒකාබද්ධ යුද අභ්‍යාසය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, ඊට දකුණු කොරියානු සෙබළුන් 18,000ක් පමණ එක් වනු ඇතැයි ද පැවැසෙයි. මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සම්බන්ධයෙන් උතුරු කොරියාව දැඩි විරෝධය පළ කර තිබේ.