අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තමා ළඟ තබාගෙන සිටි ඇත් පැටවා බැලීමට පින්නවල අලි අනාථාගාරය වෙත ගොස් කලහාකාරී ලෙස හැසිරී ඇති බැවින් ඔහුට එරෙහිව චෝදනා පහක් යටතේ පොලිස්පතිවරයා මගින් විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ දිලීප පීරිස් මහතා අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

එවැනි විමර්ශනයක් පවත්වන ලෙස තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවත්, එය නිතිපතිවරයාගෙන් විමසා ක්‍රියාත්මක කරන ලෙසත් දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා කීවේය.

හීලෑ අලිඇතුන් බලපත්‍ර රහිතව ළග තබා ගැනීමේ සිද්ධිය ගැන  අධිකරණයේ පැවැති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය විය.

ටිකට්පතක් නොමැතිව පින්නවල අලි අනාථාගාරයට ඇතුළුවිම, ආහාර ලෙස පලතුරු කූඩයක් ගෙනයාම, මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරීයා වෙඩි උණ්ඩ සහිත තුවක්කුවක් රැගෙන එම ස්ථානයට ඇතුළුවිම, ඇතුළුවීම තහනම් යැයි සදහන් දැන්වීම් පුවරුවක් තිබියදී එම ස්ථානයෙන් ඇතුළුවීම සහ රජයේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම යන වැරදි තිලිණ ගමගේ මහතා විසින් සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පොලිස්පති හරහා පවත්වන ලෙසත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලිය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් සන්නස් පත්‍ර මගින් ලබාදී ඇති ඇත් පැටවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊට අදාළ සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට නිතිපතිවරයාගේ අවසරය අවශ්‍ය නොවන බව  රජයේ   පිරීස් මහතා රහස් පොලීසියට දැනුම් දුන් බවට අධිකරණයේදී කියැවිණි.

මෙම අලි ඇතුන් ගෙන් දෙදෙනකු හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙතත්, තවත් ඇත් පැටවකු මැදමුළනට  සහ තවත් ඇත් පැටවකු මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාටත් ලබාදී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතීඥවරයා අධිකරණයේදී සදහන් කළේය.

එසේම, ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි ඇත් පැටවුන් දෙදෙනා නැවත භාරදී ඇත්තේ පනාගොඩ යුද හමුදා කදවුරේ නිලධාරීයෙකු බවත්, මේ සම්බන්ධයෙන් ඒ ගැන විමර්ශනයක් පවත්වන බවත් වැඩිදුරටත් රජයේනීතීඥවරයා සදහන් කළේය.

 ඇත්පැටවකුගේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් මහතා සදහන් කළේ වනජීවි දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ බොහෝ ඇත්පැටවුන් අනාරක්ෂිතව පහසුකම් රහිතව සිටින බවයි. සමහර සතුන් ඇස්වලට වෙදකම් කරමින් සිටියදි රැගෙන ගිය බැවින් ඔවුන් අන්ධභාවය පත්වී ඇතැයි ද ඔහු කීවේය.

මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ මේ සතුන් තමාගේ නියෝගය මත අත්අඩංගුවට ගත් බැවින් මෙහි වගකීම තමාට ද පැවරෙන බැවින් මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසට වනජීවි අධ්‍යක්ෂ වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

පැමිණිල්ල මාර්තු 15 යලි කැඳවීමට නියමිතය.

අංක 334 යටතේ ලියාපදංචි වී සිටි ඇත්පැටවාගේ ලියා පදිංචි අයිතිකරු වූයේ අංක 409, ඕවිටිගම, මීගොඩ පදිංචි එම්. බී. චන්ද්‍රරත්න යටවර යන අයයි. රහස් පොලීසිය මගින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා භාරයේ සිටියදී මෙම ඇත් පැටවා සිය භාරයට ගනු ලබූ අතර, එම ඇත් පැටවා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබිණි.