පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති පුහුණුවීම් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කෞෂාල් සිල්වා ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ආ බව රෝහල් ආරංචි කියයි.

දිනේෂ් චන්දිමාල් එල්ල කළ පහරක් පන්දු රකිමින් සිටි කෞෂාල් සිල්වාගේ හිසේ වැදී තුවාල සිදුවී ඇතැයි ද මේ වන විට කඩිනම් ප්‍රතිකාර ලබාදෙන බව ද ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි පවසයි.

කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වූ ක්‍රීඩකයෙකි. කඩුළු රකින්නකු වශයෙන් ද කටයුතු කරන කෞෂාල් සිල්වා ටෙස්ට් ශතක ලාභියකු ද වේ.