බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂි සුනාක් තෙවැනි චාල්ස් රජු නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතය.

පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී රිෂි සුනාක් ටෝරි මන්ත්‍රීවරුන් ඇමැතූ අතර එය විනාඩි 10 කට සීමා විය.

එහිදී ඉදිරියේදී ඇතිවන අභියෝග හමුවේ කන්සවර්ටිව් පක්ෂය එකමුතුව කටයුතු කළ යුතු බවත් එසේ අකමැති මන්ත්‍රීවරුන් සිටී නම් පිටව යා හැකි බවත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රිෂි සුනාක් ගේ රජයේ නව කැබිනට් මණ්ඩලය අද (25) දින පත් කිරීමට නියමිත අතර එහිදී පෙනී මෝර්ඩන්ට් විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස පත් වීමට ඉඩ ඇති බවත් නැවත වරක් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස පත් වීමට ඉඩ ඇති බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

තවද මුදල් අමාත්‍ය ධුරයේ ජෙරමි හන්ට් දිගටම කටයුතු කරනු ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේය.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන 42 හැවිරිදි රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා වේ.

ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ධනවත් වීම විශේෂ සිදුවීමක් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය.එසේම නැපෝලියන් යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙස රිෂි සුනාක් ඉතිහාස ගත වන බව පැවසේ.