(නිමල කොඩිතුවක්කු)

ස්නායු, හන්දි හා හදවත් රෝගවලටත් භාවිත කරන හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැරව සුපුරුදු හොර පාරෙන් කූට ලේඛන සකස් කොට ගෙන්වා ඇති බවවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාව මරණ මංචකයට යවන බාල බෙහෙත් ලබාදීමට කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහ සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙයට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
වත්මන් රජය, සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල බෙහෙත් සැපයීමේ ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇතැයිද බාල බෙහෙත් සම්බන්ධයෙන් කොළඹදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව කීවේය.
මේ සම්බන්ධයෙන් රටේ ජනාධිපති හා සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දෙන පිළිතුර කුමක්ද කියා විමසා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.