(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව පිහිටි සූරියවැව රක්ෂිතය කිසිවකු හෝ විනාශ කරන්නේ නම් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

එසේම එවැනි දෙයක් සිදුවන්නේ නම් එම විනාශය නතර කිරීමට වහාම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

අමරවීර මහතා මෙසේ පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

සමරවික්‍රම මහතා:

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව පිහිටි සූරියවැව රක්ෂිතය සංවිධානාත්මක පිරිසක් විසින් ඩෝසර් යොදා විනාශ කරනු ලබමින් සිටින බවට අද ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවී තිබෙනවා. මනම්පිටියේ නිමල් ජයරත්න මාධ්‍යවේදියා තමයි මේ තොරතුරැ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ගැන සොයා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා.

කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා:

එතුමා කළ ඉල්ලීම ගැන අවධානය යොමු කරනවා.  කිසිසේත්ම ඒ කැලෑව එළි කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙම සිද්ධියක් වෙලා තියෙනවා නම් ඒක වහාම නතර කරන්න කටයුතු කරනවා. ඊට සම්බන්ධ  අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා. ක්‍රමානුකූලව වගා කිරීමේ වැඩ පිළිවෙලකට මිසක් පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ.