(නිමල් ජයරත්න)

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට යාබදව සූරියවැව ගම්මානයට නුදුරින් පිහිටි රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ වන විනාශය තාවකාලිකව නතර කිරීමට තමන් අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම මහතා සඳහන් කළේය.

දිනපතා ලංකාදීප පුවත්පත මගින් එම ප්‍රවෘත්තිය දැනගත් වහාම එම රක්ෂිතයේ සිදුවන වන විනාශය නතර කිරීමට වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරියට මෙන්ම අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත් පරිසර, අධ්‍යයනයක් සිදු කරන තෙක් එම කටයුතු තාවකාලිකව නතර කිරීමට පොලීසියට උපදෙස් ලබාදුන් බවද සමරවික්‍රම මහතා සඳහන් කළේය.

පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහා කැබිනට් පත්‍රිකාවකින් එම භූමිය ලබා දුන්නද, වීර, පළු, බුරුත, ඇතුළු වටිනා ශාක බිම හෙලීමට අවසරදීම ලබාදී තිබේද යන්න තමා සොයා බලා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී වරප්‍රසාදය ප්‍රශ්නයක් මතු කිරීමට අපේක්ෂා කරන බවද සමරවික්‍රම මහතා කීවේය.

පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් එම රක්ෂිතයේ පිහිටි, වීර, පලු, බුරුත, මිල්ල ඇතුළු වටිනා ශාක ඩෝසර් යොදා විනාශ කිරීම පිළිබඳ ලංකාදීපය  රටටම අනාවරණය කළ අතර ඒ සම්බන්ධ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවද වැලිකන්ද සුරියවැව ගොවි නියෝජිතයෝ සඳහන් කරති,

ඒම රක්ෂිතයේ ඉඩම් අක්කර එක්දහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ආයෝජකයින් 29 දෙනකු සඳහා අක්කර 49 බැගින් බඩ ඉරුගු වගාවක් සඳහා ලබාදී ඇති බවට කරුණු වාර්තා විණි.