(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගෙන ඇති තමිල්නාඩු ධීවරයන් සහ ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාට ලිපියක් යොමුකරමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (28) තමිල්නාඩු ධීවරයන් 23 දෙනෙකු සහ ධීවර බෝට්ටු 5 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙසත්  එම්.කේ ස්ටාලින් මහතා එම ලිපිය මගින් ඉල්ලීමක් කර තිබේ. මෙම වසරේ පමණක් තමිල්නාඩු ධීවරයන් 221 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගෙන ඇති බව ස්ටාලින් මහතා එම ලිපියේ සඳහන් කර ඇත. අඛණ්ඩව සිදුවන අත් අඩංගුවට ගැනීම් හේතුවෙන් ධීවර කර්මාන්තය මත යැපෙන තමිල්නාඩු ධීවරයන් මහත් අපහසුතාවයකට පත්වන බවත් ඔවුනට ඉන්දීය මධ්‍යම රජයේ සහාය අවශ්‍ය බවත් එම්.කේ ස්ටාලින් මහතා එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මේ වන විට ඉන්දීය ධීවර යාත්‍රා 105 ශ්‍රී ලංකාව භාරයේ තිබෙන බවත් මීට පෙර අවස්ථාවලදී අත් අඩංගුවට ගත් ධීවරයන් ඉන්දීය මධ්‍යම රජයේ අඛණ්ඩ උත්සාහය හේතුවෙන් නිදහස් කර ගැනීමට හැකි වූ බවත් ස්ටාලින් මහතා පවසා තිබේ.කෙසේ නමුත් තවමත් එම ධීවරයන්ගේ යාත්‍රා තිබෙන්නේ ශ්‍රී ලංකාව බාරයේ බව ස්ටාලින් මහතා පෙන්වා දී ඇත.