(මහින්ද නිශ්ශංක)

කන්කසන්තුරේ සිට කොළඹ බලා ඊයේ  (06) ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරි භාරව සිටි දුම්රිය සේවකයා බීමත්ව සිටියදී අනුරාධපුර දුම්රිය ආරක්ෂක හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම දුම්රියේ ප්‍රධාන නියාමකවරයා විසින් අනුරාධපුර දුම්රිය පාලන කාර්යාලයට දැනුම් දීම අනුව අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත  .

මේ අවස්ථාවේදී එම දුම්රිය  සේවකයාගේ මුවින් මත්පැන් ගඳ වහනය වී ඇති බවද අනාවරණය වේ  .

පසුව අනුරාධපුර පොලීසියට භාරදීමෙන් අනතුරුව පොලිසිය මගින් එම සේවකයාව අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදුව ඔහු බීමත්ව සිටි බව  තහවුරු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි  .

අනුරාධපුර දුම්රිය ආරක්ෂක හමුදාවේ උප පරීක්ෂක ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සේවකයා මාලිගාවත්ත දුම්රිය අංගනාදිපති කාර්යාලයට අනුයුක්තව සිටින සේවකයෙකු බව ද වාර්තා වේ .

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත  .