(සිතුම් චතුරංග)

වවුනියාව තෝණිකල්, සර්කියුලර් මාර්ගයේ නිවසකට ඇතුළුවී කඩු හා මුගුරු වලින් පහරදී නිවස ගිනිතබා අඹුසැමි යුවළක් ඝාතනය කොට තවත් අටදෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනකු සැකපිට අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

වසර ගණනාවක සිට කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක් දුරදිගයාමෙන් සැකකරුවන් පිරිස සූක්ෂම ලෙස සංවිධානය වී මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බව පොලිසිය පැවසීය.

පහරදීම සඳහා දසදෙනකු පමණ සම්බන්ධවී ඇති අතර දින ගණනාවක සිට මෙම ප්‍රහාරය සැලසුම් කොට ඇති බවත් ප්‍රහාරයට රැගෙන ආ කඩු සහ මුගුරු ප්‍රදේශයේ වැවකට විසිකර දමා ගොස් ඇති බවට අනාවරණයවී ඇතැයිද පොලිසිය පැවසීය.

සැකකරුවන් පහරදීමෙන් හා නිවසට ගිනිතැබීමෙන් වවුනියාව , ඕමන්ත , පදිංචි ෆාතිමා සමීමා සහිඩින් (21) සහ ඇගේ සැමියාවූ සත්ගුණකුලසිංහම් සුගන්දන් (35) මියගොස් සිටි අතර කුඩා ළමුන් ඇතුළු අටදෙනකු තුවාල ලබා වවුනියාව රෝහලවෙත ඇතුලත් කොට සිටියහ.

  පසුගිය 23 වැනිදා අලුයම නිවසහිමි ව්‍යාපාරික පුද්ගලයකුගේ වැඩිමහල් දියණියගේ උපන්දින සාදය අතරතුර මෙම ප්‍රහාරය එල්ලකොට තිබුණි

පොලිසිය පැවසූයේ සැකකරුවන් පහරදීමත් සමඟ නිවසතුලට ගොස් සැගවී ඇති පිරිසට පෙට්‍රල් , භූමිතෙල් සහ ඉක්මණින් ගිනිගන්නා ද්‍රව්‍ය මිශ්‍රද්‍රාවණ බෝතල් සහ බූලිවලට රැගෙනවිත් නිවසට පහරදී ගිනිතබා ඇති බවත්ය.

සැකකරුවන් ප්‍රහාරයට පැමිණි යතුරු පැදිතුනක්ද වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවටගත් අතර සිද්ධියට සම්බන්ධ අනෙක් පිරිස හදුනාගෙන ඇතැයිද කීය.

අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව, තවුසිකුලම් , නෙලුක්කුලම් , සිවපුරම් ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි අවුරුදු 27 ත් 33 අතර වයසේ පසුවන්නෝ වෙති.