(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන්  අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් (Sarwat Jahan), තම සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ටුබගස් ෆෙරිධනු සෙට්‍යාවන්  (Tubagus Feridhanusetyawan)  මහත්ම මහත්මීන් අතර හමුවක් ජනාධිපති කාර්ය‌ාලයේ පැවැත්වුණු අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ මෙන්ම ණය හිමියන්ගේ සමුළුව පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ කරුණු පිළිබඳ  ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කඩිනමින් දැනුම් දීමට අපේක්ෂා කරන බව සාගල රත්නයක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට පැවසීය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.