නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරනුයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලය බෙදීමේ සංකල්පයේ පිහිටා සිටිමින් යැයි එහි මාධ්‍ය ප‍්‍රකාශක මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

රටේ ඒකීයභාවයට හානියක් නොවන අයුරින් හා රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට බලපාන්නා වූ ගැටලූවලට නිවැරදි විසඳුම් සොයන රාමුවක් යටතේ තම පක්‍ෂය කටයුතු කරන බව ද ඔහු කීවේය.

පහුගිය සන්ධාන රජය කාලයේ ලංකාව ධනපති අර්ථ ක‍්‍රමයේ කක්කුස්සිය වී තිබූ බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසා තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයට කාලයක් කුස්සිය හා කක්කුස්සිය පැටලූණා තමයි. කක්කුස්සිය වීමට ගියෙ 2016 අයවැයයි. එය බේරා ගත්තේ සම්මුතිවාදී ආණ්ඩුවේ ශ්‍රී ලංකා පාක්ෂිකයන් වූ අපියි. ධනපති හෝ මොනඅර්ථ ක‍්‍රමයක්වත් රටේ ක‍්‍රියාත්මකවීමට නම් මිනිසුන්ට හුස්ම ගැනීමේ අයිතියවත් තිබිය යුතුයි.

පහුගිය සන්ධාන රජය බලයට පත්වන විට මේ රට ත‍්‍රස්තවාදයෙන් පීඩා විඳිමින් සිටියා. ඊළාම්  උසාවි, ඊළාම් පොලිසි පවා ක‍්‍රියාත්මක වුණා. අපේ පක්‍ෂය මැතිවරණ දෙකකින් පරාජයට පත්වුණේ සන්ධාන ආණ්ඩුවේ වැරදි තිබූ නිසා තමයි. ඒත් සන්ධාන ආණ්ඩුව කළ හොඳ වැඩ සියල්ල අවත්කසේරු කිරීම කළ යුතු වන්නේ නැහැ.

සම්මුතිවාදී ආණ්ඩුවක ඉඳගෙන එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්වරයා මෙවැනි ප‍්‍රකාශ කිරීම සුදුසු නැහැ.

වැරිමාර්ග අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, ශ්‍රී.ල.නි.ප තරුණ කමිටුවේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

dilan_151223(2) dilan_151223(1)