(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන වට්ස්ඇප් සහ ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි .

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කර ඇත.

අධිකරණ වෛද්‍යවරයා සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂාකර බලා ඔහු අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මීගමුව කොට්ඨාස යටතේ පාලනය වන පොලිසියක රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරියක් විසින් මේ බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරනු ලැබුවාය.

මෙම පොලිස් කොස්තාපල්වරියගේ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මෙම කාන්තා පොලිස් කොස්තාපල්වරිය ගේ වැඩද තහනම් කළ බව මීගමුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව මූලික විමර්ශනයක් පවත්වා කාන්තා පොලිස් කොස්තාපල්වරිය ගේ වැඩ තහනම් කර ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයකු විසිනි.