විදෙස්ගත ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දු දරුවන් හට බුදු දහම සහ සිංහල භාෂාව මෙන්ම අපේකම සහ අපේ උරුමය ආරක්ෂා කර ගැනීමේ අගය කියාදෙන තක්සලාවක් බඳු ඩුබායි දහම් පාසල පසුගියදා සිය 13 වැනි සංවත්සරය සැමැරිය.

2001 වසරේදී ආරම්භ කළ මෙම දහම්පාසල දහසකුත් එකක් දුෂ්කරතා අභිබවමින් වසර දහතුනක් තිස්සේ නොකඩවා පවත්වාගෙන යාම සඳහා සියලු කැපවීම් කරමින් ක්‍රියාකරන්නේ ඩුබායිහි ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රයයි.

සෑම සිකුරාදා දිනකම 700 කට ආසන්න ශ්‍රී ලාංකික දුදරුවෝ මෙම පන්තිවල නොමිලයේ උගනිති.

මෙම කටයුතු සඳහා එක්සත් එමීර් රජයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නොමද සහාය මෙන්ම ගුරුමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම අනෙකුත් දෙමාපියන්ගේද අසීමිත කැපවීම සහ සහයෝගය නිරතුරුවම ලැබී ඇත.

මුල් අවදියේදී මෙම පන්ති පවත්වාගෙන යන ලද්දේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල ගොඩනැඟිල්ලේය. අරාබි වැලිකතරේ අප්‍රමාණ වෙහෙසක් දරමින් විවිධ රැකියාවන්හි නියුතුව ඉන්නා ශ්‍රී ලාංකික ජනතාවගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් මෙම පාසල පවත්වාගෙන යාම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට 2003 වසරේදී අවස්ථාව උදාවිය.

මේ කාලයේදී ඩුබායි දහම් පාසලෙන් ඉගෙනීම ලැබූ දු දරුවන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවා ඇත.

ජාති ආගම් බේදයකින් තොරව පවත්වා ගෙන යනු ලබන ඩුබායි ශ්‍රී ලංකා සංස්කෘතික පාසැලෙහි බෞද්ධ මෙන්ම හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් භක්තික ශ්‍රී ලාංකික දරුවෝ එක්ව ඉගෙනුම ලබති.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය, සිංහල අවුරුද්ද, වෙසක් සහ පොසොන් පොහොය සමරමින් විශේෂ වැඩසටහන් පැවැත්වීමද මෙම පාසල ආරම්භයේ සිටම පැවැත්වේ.

දහම්පාසලේ 13 වැනි සංවත්සර උත්සවයේදී වසරේ සිසු සිසුවිය සඳහා සහතික පත් සහ ත්‍යාග ප්‍රධානයද සිදු කැරිණි.

ශ්‍රී ලංකා තානාපති මහින්ද බාලසුරිය සහ කොන්සල් ජනරාල් අබ්දුල් රහීම් ප්‍රධාන ආරාධිත අමුත්ත්තෝ ඊට එක් වුහ.

මෙම දහම් පාසැල ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.