(අංජුල මහික වීරරත්න)

ඉන්දියා ආධාර යටතේ මෙරටට හදුන්වා දෙන නව ඩිජිටල් හැදුනුම්පත හෙවත් සුවිශේෂි ඩිජිටල් හැදුනුම්පත (Unique Digital Identity) සකස් කරන ආයතනය හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම්ගත වීමට නියමිතය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ඊට අදාළ මූලික පියවර වෙනුවෙන් ඉන්දියා රුපියල් මිලියන 450 ක් ශ්‍රී ලංකාවෙි  ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සාගල රත්නායක මහතාට පිරිනැමීය.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් රැසක් නොමිලේ දැනුම මෙරටට පිරිනමන අතර බිල් ගේට්ස් සමාගමේ පදනමක් වන බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම ද ඒ අතර වේ.

 ඉන්දියාව මේ වන විට ඩිජිටල් හැදුනුම්පතක් එරට ජනතාවට හදුන්වා දී ඇති අතර එම ආකෘතියටම මෙරට ජනතාවටද  ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කෙරෙනු ඇත.

පුද්ගලයකුගේ ජෛව තොරතුරු(ලේ වර්ගය ආදී තොරතුරු) ඇතුළු සියලු විස්තර ඔහු වෙනුවෙන් වෙන්වූ අන්තර්ජාල ගිණුමක තැන්පත් වෙයි. ඔහුගේ හෝ ඇයගේ අනුමැතිය මත මෙම  සියලු තොරතුරු බැංකු ගණුදෙනු ඇතුළු සියළු කටයුතු වෙනුවෙන් හෝ වෙනත් ආයතනික  අවශ්‍යතා වෙනුවෙන් යොමු කිරීමේ පහසුකම ද මෙම නව හැදුනුම්පත සමඟ ඇතිවනු ඇත. 

පුද්ගලයකුට තම රාජකාරී අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් අදාළ ආයතනය වෙත නොගොස් අන්තර්ජාලය ඔස්සේ කටයුතු කර ගැනීමේ පහසුකම මේ අනුව උදාවනු ඇත.

මුළු රටම ඊ කලාපයක් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ වන අතර එය ඉන්දියා රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු වෙයි. ලබන වසර අවසන් වීමට ප්‍රථම ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.