(අංජුල මහික වීරරත්න)

චක්‍රලේඛන සකස් කර ඇත්තේ වැඩ කිරීම පහසු කිරීමට මිස වැඩ නොකර කකුලෙන් ඇදීමට නොවන බැවින් චක්‍රලේඛන වලට මුවා වී තමා ඇන්දීමට කටයුතු නොකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා රාජ්‍ය නිලධාරීන් හමුවේ පැවසීය. 

ඇතැම් රාජ්‍ය නිලධාරීන් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම ප්‍රමාද කිරීමට චක්‍රලේඛන හේතුවක් කරගන්නා බව ද අමාත්‍යවරයා කීය. 

“මිනිහෙකුගේ සාධාරණ ඉල්ලීමක් ආපුවාහම නෑ, බෑ කියාගෙන එන්න එපා. ඒක නීත්‍යානුකූල විදිහට ඉටු කරන්න පුළුවන් විදිය කියන්න. ඔය නෑ, බෑ කියන එක මට දිරවන්නෙම නෑ.” යැයි ද ඇමතිවරයා කීවේය.

ඇතැම් නිලධාරින්ගේ වැරදි නිසා දේශපාලනඥයින්  බැණුම් අහන බවද “ටයි ගැට” ප්‍රශ්න නිසා නිලධාරීන් අතර විවිධ ගැටළු තිබෙන බවද කී අමාත්‍යවරයා ටයි ගැට” ප්‍රශ්න නිසා ජනතා සේවය බාල්දු කරන්න එපා යැයි ඉල්ලා සිටියේය .

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අයවැය හා ඉදිරි කටයුතු පිළිබද  අමාත්‍යාංශ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.