(රන්ජන් කටුගම්පොළ)

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඔක්තෝම්බර් පළවෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කළේය.

අභියාචනාධිකරණය එසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබියදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා විසින් ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අහෝසි කිරීම ඒ හිමියන්ට හිමි සිර දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරනු ලබ තිබූ අතර එම මෝසම 'අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්න කොරියා සහ ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මීන් හමුවේ සලකා බැලීණ.

මෙම මෝසම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා මහතා කියා සිටියේ මෝසම  මගින් ඉල්ලා සිටින්නේ හිමියන්ට  ලබා දී ඇති සිර දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා යළිත් බන්ධනාගාරගත කරන ලෙස ද එම හිමියන් අධිකරණයෙන් දැනට නිකුත් කර ඇති සිතාසිය අනුව අද දින අධිකරණයේ අනිවර්යෙන් පෙනී සිටිය යුතු බවත් එසේ පෙනී නොසිටින්නේ නම් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් එසේ ඉදිරිපත් කර නොමැති බැවින් ඒ හිමියන් අත්අඩංගුවට ගැනීමට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය.