(අංජුල මහික වීරරත්න)

නැගිටින්න වෙර දරන පැරණි ජාතිවාදී- ආගම්වාදී පිල්ලි වලට අඟලකින් වත් ඉදිරියට එන්න රටේ ජනතාව ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේ දී අද (18)පැවසීය.

ලාංකීය ජාතිය අනතුරේ නොවැටෙන ලෙස රට පාලනය කරමින් අනාගතයට ගෙන යාමේ වගකීම ජාතික ජන බලවේග රජය අකුරටම ඉටු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

" අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" යන තේමාවෙන් පැවති මෙම සමුළුව සඳහා අති විශාල ජනකායක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා:-

මේ දවස්වල කලබලකාරී තත්ත්වයක් හදන්න යනවා .ගමේ එහෙම කලබලයක් තියෙනවද? ඒ කලබල ඔක්කොම තියෙන්නේ මාධ්‍ය වල.ගමේ අද ශක්තිමත්ව වැඩ කරමින් තිබෙන බලවේගය වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවයි.

හැබැයි මාධ්‍ය ඇතුලේ කලබලකාරී තත්ත්වයක් පෙන්නුම් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒකට හේතු තියෙනවා.අපේ ආණ්ඩුව පත් කළේ පොදුු ජනතාව.ආණ්ඩුව ගොඩ නැගීමේ ප්‍රධානම හැරවුම බවට පත්වුණේ අපේ කාන්තාවන් එක මිටට එකතු වීමයි.

මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නේ වගේම දිගින් දිගටම ජයග්‍රහණ ගෙනත් දෙන්නෙත් මේ රටේ කාන්තාවන්. කාන්තාව වැඩි බරක් හැම විටම දරන්නේ දරුවන් වෙනුවෙන්.

මේ මොහොතේ ජීවත් වන ජනතාව බලා ගන්නවා මෙන්ම අනාගතයට සුරක්ෂිත රටක් ගොඩ නැගීම අපේ ප්‍රධාන අපේක්ෂාවයි.