(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ මහව සජීවා කෝට්ටෙගොඩ, තිසරසමල් සහ ජයරත්න වික්‍රමාරච්චි)

රටපුර විවිධ ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි නිසා වැව් අමුණු රැසක් වාන් දැමීමට පටන් ගෙන ඇතැයි අප වාර්තාකරුවෝ පවසති.

දැදුරුඔය පෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය යළි පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇත. ඒ නිසා අද (04) අළුයම සිට ජලාශයේ වාන් දොරටු 05 ක් අඩි 04 බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.

වාන් දොරටු 05 විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 13800 ක ජල පරිමාවක් මුදාහැරෙන බව ඉංජිනේරුවරයා කීය,

මේ අතර පවතින අධික වැසි සහිත කාළගුණ තත්වයත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා, මධ්‍ය හා මහා පරිමාණ වැව් රැසක් මේ වන විට පිටාර ගලමින් පවතී.

පෙර දින දැඩි වර්ෂාපතනයක් පැය කීපයක්ම ඇද හැලුණු අතර, මේ හේතුවෙන් වැව් පිටාර ගලමින් පවතී.

එප්පාවල  කටියාව වැව මේ වන විට වාන් දමමින් පවතී, ඒ හේතුවෙන් එප්පාවල -කටියාව මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද බාධා සිදුව ඇත.

කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු 6ක් අඩි 1 බැගින් අද පස්වරුව වනවිට විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.

එමඟින් තප්පරයට ජලය ඝණ අඩි 1440 ක් මුදාහැරෙන බවත් එම කාර්යාලය සඳහන් කළේය.