(අංජුල මහික වීරරත්න)

සංචාරක වීසා මත ජපානයේ රැකියා කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා කාලය ඉකුත් වූ පසුව ඔවුන් සම්බන්ධයෙන් යම් සහනදායී පිළිවෙතක් අනුගමනය කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ජපානයේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවෙස් කිචිරො ( IWASE Kiichiro) මහතාගෙන් ඉල්ලීමක් කළේය.

ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ මෙරටට පැමිණ සිටින ජපානයේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සහ පාලිත රංගෙ බණ්ඩාර මහතා අතර හමුවක් කොළඹ දී පැවැත්විණි.

එහිදී එජාප මහලේකම්වරයා කීවේ ලාංකිකයන් විශාල පිරිසක් සංචාරක වීසා මත ජපානයේ රැකියා කරන අතර ඔවුන් නැවත මෙරටට යොමු කළහොත් එය මෙරට ආර්ථිකයට මෙන්ම තරුණ රැකියා වියුක්තියට ද හේතුවක් වන බවයි.

ශ්‍රී ලංකාවෙි  ජපන් ආයෝජන අවස්ථා වැඩි කරන ලෙසද එය මෙරට ණය ප්‍රතිව්‍යුහගත  කිරීමට මහත් පිටුවහලක් වනු ඇති බවද සඳහන් කළ එජාප  මහලේකම්වරයා රටේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සහාය දෙන ලෙසද  ඉල්ලා ඇත.

පාලිත රංගෙ බණ්ඩාර මහතා  කළ ඉල්ලීම් සියල්ල ජපන් රජය වෙත ඉදිරිපත් කරන බවත් මෙරට දියුණුවනු දැකීම ජපන් රජයේ අපේක්ෂාව බවත් ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවෙස් කිචිරො මහතා සඳහන් කර තිබේ.