වාර්මාර්ග දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඩිප්ලෝමා සහතික බෙදාදීමකි. වාරිමාර්ග දෙපාර්තමේන්තු සේවකයන්ට උපහාර පිදීමක්ද ඒ සමග පැවැත්විණි. ප්‍රධාන ආරාධිතයා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.

ඩිප්ලෝමාලාභීහු 200ක් පමණ සහතික ලබාගැනීමට පෙළ ගැසී සිටියහ. එහෙත් සහතික ලැබුණේ දස දෙනකුට පමණි. එක් අයෙක් වේදිකාවට පැමිණ හිස් අතින් ආපසු ගියේය. ඉන්පසු ඇගයීම් සම්මාන බෙදා හදා ගැනීම සිදුවිය.

ඒ ගැන ජනපති නොසතුටු වූ බව පෙනිණි. ජනපතිද ඇමැතිවරයා පිරිනැමූ සමරු තිළිණය බාරගත්තේ එතරම් ප්‍රසාදයකින් නොවන බව දැකිය හැකි විය. ජනපති ඇමැතිවරයාට කරුණු පැහැදිලි කළේය. නිවේදකයා ජනපතිට සභාව ඇමතීමට ආරාධනා කළද ජනපති එහි නොගියේය. වහාම ඇමැතිවරයා ලේකම්වරයා සමග සහතිකපත් තොගයක් ගෙන ආ අතර ඩිප්ලෝමාධාරීන් සියලු දෙනාට විනාඩි 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත ජනපති අතින්ම සහතික පත් පිරිනැමිණි.

එය නිම කළ ජනපති ඇමැතිවරයාට හස්ත සංඥාවක්ද කළ බව පෙනිණි. ජනපති ගත් තීරණය ගැන නිවේදකයා සභාවට කී අතර අත්පොළසන් නද දසත පැතිරෙන්නට විය.