ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා   දළදා සමිඳුන් වැඳ පුදාගෙන එහි පැවැති  ආගමික වතාවත්වලට සහභාගී උදා වූ 2026 නව වසරට ආශීර්වාද ලබා ගත්තේය.

ජනාධිපතිවරයා අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු දළදා මාලිගාවට සැදැහත් ජනතාව සමගද සුහද කතාබහක නිරත විය.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නායක  නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය.

එම අවස්ථාවට වැඩම කර සිටී ගරුතර සංඝායා වහන්සේලා  සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශීර්වාද කළහ.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නායක  නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද  කළ අස්ගිරි මහා නා හිමියෝ ජනතාවට වඩා යහපත්, රටක් ගොඩනගා දීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ නව වසරේ නව ජවයකින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කළහ.

ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයේ අභියෝගයට මුහුණදීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු ප්‍රමුඛ අනු නායක හිමිවරුන් දැනුවත් කළ අතර එම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට උන්වහන්සේලා සිය ආශිර්වාදය පළ කළහ.

(ෂේන් සෙනෙවිරත්න)