(අංජුල මහික වීරරත්න)

ඩිජිටල් ආර්ථිකයට පරිවර්තනය වීම තෝරාගැනීමක් නොව අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා පළමුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් වැඩි දියුණු කළ යුතු බවත් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටක් ලෙස තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා යම් කාලයක් ගත වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අධ්‍යාපන හා වෙළෙඳපොළ උපායමාර්ග යන ක්ෂේත්‍රවල අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසද අදාළ  පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන  'INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ'  සමාරම්භක අවස්ථාව‍ට අද (03) පෙරවරුවේ  එක්වෙමිනි.

නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  වැඩපිළිවෙළට අනුව “ඩිජිටල් ආර්ථිකය පණ ගන්වමු” යන තේමාව යටතේ තාක්ෂණ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරන 'INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය' නොවැම්බර් 05 වනදා දක්වා පැවැත්වේ.

ඩිජිටල්කරණය පාසල් පද්ධතියට ගෙන යාමේදී ගුරුවරුන්ගේ පුහුණුව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගීතා ප්‍රයත්නයක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.