(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

ඉරුදින පාස්කු ප්‍රහාරය සොයා බැලීම පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ සාක්කි ජංගම දුරකතනය මාර්ගයෙන් පටිගත කිරීම සම්බන්ධව චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයෙකුට මාස 8 ක කාලයකට ඔහුගේ නීතිඥභාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම අත්හිටුවීම ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මකය.ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීන්දු කළේ එම කොමිසමේ ලේකම් එල්.එම්.බී.පී හේරත් මහතා විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් පසුවය.මෙසේ නියෝග කළේ බුවනෙක අලුවිහාරේ, එස්.තුරේරාජා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

පසුගිය සැප්තැම්බර් 9 වැනිදා අදාළ ජනාධිපති කොමිසමේදී එක්සත් ලංකා ජයමිතුල්ලා උලමා සංවිධානයේ මොහොමඩ් මුර්ෂා මර්ෂා නැමැත්තා සාක්කි දෙමින් සිටියදී ඔහුගේ සාක්කිය ජංගම දුරකතනයෙන් පටිගත කිරීමෙන් නීතිඥවරයෙකුට නොහොබිනා ආකාරයට හැසිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කළා යැයි එම මහතාට චෝදනා එල්ල වී තිබිණ.

නීතිපති වෙනුවෙන් නීතිඥ ගංගා වාකිෂ්ඨ ආරච්චි සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂ් ගොපල්ලව මහතා පෙනී සිටියේය.