(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමරිකා ගමන නිසා දෙරට දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබුණු බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ඇමෙරිකා සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කරන්නේ සාම්ප්‍රදායික විපක්ෂයක කාර්යභාරය ඉටු කිරීමට මිස රටට ආදරයකින් නොවන බව කී විජයවර්ධන මහතා ජනපතිගේ ගමන නිසා රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව සඳහන් කළේය.

දේශගුණික විපර්යාස අවම කර ගැනිමේ වැඩසටහන්වල මෙන්ම රජයේ සංවර්ධන වැඩසටහන්වලටත් ඉදිරියේදී ආධාර ලබාදෙන බව ලෝක බැංකු සභාපතිවරයා එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කළ බවත් මේ වසර අවසන් වීමට පෙර ලෝක බැංකු සභාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ බවත් විජයවර්ධන මහතා පැවසීය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.