(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මැද පෙරදිග ඇති වූ ගැටුම්කාරී තත්ත්වය නිසා ලංකාවට ඇතිවූ බලපෑමෙන් මහජනතාවගේ සහන සැලසීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් රුපියල් බිලියන සියයක සහන පැකේජයක් අනුමත කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ සහන පැකේජයට මුදල් සම්පාදනය කරගන්නා ක්‍රමවේදයේ එක් පියවරක් ලෙස එයින් බිලියන 71.7ක් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා මෙම වැඩකටයුත්ත සිද්ධ වෙනවා.බොහෝ විට පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන විට ඒ අවුරුද්දේ අයවැයෙන් සම්මත කරන ලද වැය සීමාවන් ඉක්මවා යනවා.දිට්වා සුළි කුණාටුවේදීත් අප රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරගත්තා.ඒ සඳහා මුදල් සම්පාදනය කර ගත්තේ ආණ්ඩුව විසින් අතිරේකව එකතු කරන ලද බදු මුදල් සහ ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස මිස අලුතින් ණය ලබාගෙන නොවේ.මැද පෙරදිග යුද තත්ත්වය නිසා ඇති වූ අර්බුදයට දෙන සහන පැකේජයටත් මුදල් ලබාගන්නේ අතිරේක වියදම් වැඩි කර නොවේ.තිබෙන වියදම් කළමනාකරණය කර ගැනීමෙනුයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.