(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය තහවුරු කිරීම සඳහා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ  අනුමැතිය සඳහා ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිතය.

නව පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින්  පසුගිය 25 වැනිදා  නිකුත් කරනු ලැබීය.

අනන්‍යතාව ආරක්ෂා කරමින් සෑම පුරවැසියකුටම ආර්ථික සමාජයීය සංස්කෘතික සහ දේශපාලන ක්ෂෙත්‍රවල සමාන අවස්ථා සහතික කිරීම සඳහා සහ විවිධත්වයට ගරු කරනු ලබන සහ සියලු ප්‍රජාවන් එකඟත්වයෙන් සහ සමගියෙන්  යුතු  සහජීවනයෙන් ජීවත්වන සමාජයක් ගොඩනැංවීම සඳහා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීමේ අරමුණ බව එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.

විවිධ ප්‍රජාවන් අතර ආතතීන් සහ ගැටුම් ඇති කරනු ලබන කාරණා විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ආණ්ඩුවට නිර්දේශ කිරීමද ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳව කටයුතු කරනු ලබන උනන්දුවක් දක්වන පාර්ශවයන්ට සහාය දීමද  මෙම කමිටුවේ අරමුණු අතර වෙයි.