(අංජුල මහික වීරරත්න)

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ශ්‍රී ලංකාවේ නීති සහ නීති පද්ධති පිළිබඳව රචනා කළ ග්‍රන්ථ දහයක කර්තෘ භාග (Royalties) මුදල් යොදවමින් නීති සිසුන්ට නීති පර්යේෂණ ආදියට සහාය වීම සඳහා "මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන සහ පර්යේෂණ භාරය" පිහිටුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් මන්දිරයේ දී සිදු කෙරිණි.

කතෘ භාග මුදල් වලට අමතරව අරමුදල ආරම්භ කිරීම සඳහා මහාචාර්ය පීරිස් මහතා මෙහිදී තම පෞද්ගලික අරමුදලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ද පරිත්‍යාග කළේය.

මෙම භාරයේ භාරකරුවන් ලෙස මහාචාර්ය පීරිස් , කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් සහ මහාචාර්ය පීරිස් මහතාගේ දියණිය වන වෛද්‍ය ආමන්ති බන්දුසේන මහත්ම මහත්මීහු අත්සන් තැබූහ.

අවශ්‍යතා සහ ප්‍රමුඛතා මත පදනම්ව, නීති පීඨයට සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වර්ෂයෙන් වර්ෂය සම්පත් වෙන් කිරීමට මෙහි භාරකරුවන්ට ඔවුන්ගේ අභිමතය පරිදි බලය පවරනු ලැබ ඇත.

අපේක්ෂිත ක්‍රියාකාරකම් අතරට නීතිමය මාතෘකා පිළිබඳ පර්යේෂණ, වත්මන් උනන්දුවට ලක්වන මාතෘකා ගැන සම්මන්ත්‍රණ, අමරණීය දේශන, මෝට් කෝට් (Moot Courts) හෙවත් අනුකරණ අධිකරණ සැසි, වාද විවාද තරඟ සහ ඒ හා සමාන වැඩසටහන් ඇතුළත්ය.

මහාචාර්ය පීරිස් මහතා හිටපු උප කුලපතිවරයකු සහ නීති පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස නීති විද්‍යාවට ලෙස ඉටු කළ අනභි භවනීය සේවය ඇගයීම පිණිස අපරාධ නීතිය සඳහා වූ මහාචාර්ය ජී.එල්. පීරිස් රන් පදක්කම පිහිටුවීමට නීති පීඨය ගත් තීරණය පිළිබදව පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචි හේවා මහතා මෙහිදී නිවේදනය කළේය.

මහාචාර්ය පීරිස් මහතාගේ මුත්තනුවන් වන ගේට් මුදලිදු එඩ්මන්ඩ් පීරිස් මහතා නීති ප්‍රථම විභාගයේදී (First Examination in Laws) දක්ෂතම දස්කම් දැක්වීම වෙනුවෙන් ත්‍යාගය පිරිනමා ඇති බවත් මුණුපුරා වන මහාචාර්ය පීරිස් ද ඒ ත්‍යාගය දිනාගත් බවත් මහාචාර්ය පුංචිහේවා සිහිපත් කළේය.

උත්සවයේ විශේෂ දේශනය පැවැත්වූ හිටපු උපකුලපති සහ සම්මානිත මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මෙනවිය සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ සංවර්ධනය වෙනුවෙන් තමා සහ මහාචාර්ය පීරිස් දිගු කාලයක් පුරා එක්ව අභියෝගවලට මුහුණ දෙමින් සේවය කළ බවයි.

මහාචාර්ය පීරිස් මහතා සිය දේශනයේදී, රට පුරා සිටින සිසුන්ගේ බඳවා ගැනීම් කිහිප ගුණයකින් වැඩි කරන අතරම ඉහළම ශාස්ත්‍රීය ප්‍රමිතීන් පවත්වා ගැනීමට විශ්වවිද්‍යාලය නිරන්තරයෙන් ගත් උත්සාහය අගය කළේය.