පළාත් සභා මැතිවරණ පවත්වන දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රියද නැතිනම් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා දැයි යන්න රජය රටට හෙළිකළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රජය පළාත් සභා මැතිවරණය මාර්තු 29 වැනිදා පවත්වන බවට කෘෂිකර්ම ඇමැතිවරයා කළ ප‍්‍රකාශය බරපතල යැයි ද මැතිවරණ කොමසාරිස්වරයාට පැවැරී ඇති රාජකාරිය කැබිනට් ඇමැතිවරයකු කරන්නේ කෙසේද යන්න ප‍්‍රශ්න කළ යුතු යැයි ද එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (6) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

පළාත් සභා නොවිසුරුවා  ඡන්ද පවත්වන දිනය පවසන්නට මැතිවරණ කොමසාරිස්වරයාටද නොහැකි යැයි කී හෙතෙම මැතිවරණවල නිදහස් හා සාධාරණ බවක් නැති බවට මෙම ප‍්‍රකාශය කදිම නිදසුනක් යැයි ද අවධාරණය කළේය.