(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)

ක්‍රිප්ටෝකරන්සි මිළදීගෙන වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට අරමුණින් මෙරට පුද්ගලයන් 8000 ක් පමණ දෙනා “ස්පෝට් චේන්” නැමැති පිරමිඩ් ජාවාරමට සම්බන්ධ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් මේ දක්වා මෙරට පුද්ගලයන් රවටා රුපියල් කෝටි 1400 ක පමණ මුදල් වංචා කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

චීන ජාතිකයන් යුවළක් හා මෙරට පුද්ගලයකු එක්ව මෙම ජාවාරම 2020 වසරේ සිට සිදුකරගෙන ගොස් ඇති බවද හෙතෙම කියා සිටියේය.

මෙම ජාවාරමේ මෙරට ප්‍රධාන සැකකරු වන ශමාල් කීර්ති බණ්ඩාර නැමැත්තෙක් ඉකුත් 11 වැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇති පුද්ගලයකු බවත්, ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ වී සිටි චීන ජාතික යුවලක් රටින් පලා යාමට සූදානම් වු අවස්ථාවේ ඉකුත් 12 දින කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බවද හෙතෙම කියා සිටියේය.

මොවුන් තිදෙනා ක්‍රිප්ටෝකරන්සි ( ගුප්ත මුදල්) මිළදීගෙන පිරමිඩ් ජාවාරම හරහා විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා විවිධ පුද්ගලයන් ගෙන් මුදල් ආයෝජන සිදුකර ඇත. ඒ වෙනුවෙන් සකස් කළ පරිගණක මුදුකංගයක් මොවුන් විසින් නිරීමාණය කර ඒ හරහා ක්‍රිි්ප්ටෝකරන්සි මිළදී ගෙන වැඩි ප්‍රතිලාභ ලබා ගන්නා ලෙසට පෙන්නුම් කරමින් සහ එහි විවිධ ආකාරයේ ප්‍රතිලාභ ද පෙන්නුම් කරමින් මෙම සැකකරුවන් විසින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බවද හෙතෙම කීය.