(සුමිත් පොතුපිටිය)

පාතාල කල්ලි නායකයකු වන මතුගම ශාන් නැමැත්තා ගේ කොන්ත්‍රාත්තුවක් මත මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් සැගව සිටී පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු තියුණු කඩු තුනක් , හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 15 ක් සහ ජංගම දුරකථන පහක් සමග අද පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය සමත්ව ඇත .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම ඕවිටිගල සහ කඩවක ප්‍රදේශයේ පදිංචි 25 සහ 19 වියැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් මතුගම ඕවිටිගල ප්‍රදේශයේ නිවසක රැදීසිටින බවට ලද තොරතුරක් මත දූෂණ මර්ධන වැටලීම් අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ ඇතුළු නිළධාරීන් නිවස වටලා පරීක්ෂා කිරීමේදී අඩි හතරකට අසන්න දිගැති තියුණු කඩු දෙකක් සහ අඩි තුනහමා‍රක් පමණ දිග කඩුවක්, හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථන පහක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.