(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පළාත් පාලන ආයතන 6ක ඡන්දදායකයින් පිරිසක් විසින් ගොනු කළ රිට් පෙත්සම හෙට (16) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

එම පෙත්සමට මැදිහත්වීමට තමන්ටද අවර දෙන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා සහ නීතීඥවරියක් විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් වලට අවසර දෙන්නේද  යන්න පිළිබඳවද හෙට සලකා බැලීමට නියමිතය.

වතුගෙදර විජේරත්න මහතා ඇතුළු මහනුවර, ඇඹිලිපිටිය, කොළඹ, මාතර සහ හාලිඇල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙම පෙත්සම් ගොනු කොට ඇති අතර එහි වගඋත්තරකරුවන් වශයෙන් පළාත් පාළන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කරනු ලැබ ඇත.

මෙම පෙත්සම ඇල්.ටී.බී. දෙහිදෙණිය, කුමුදිනි වික‍්‍රමසිංහ සහ ශිරාල් ගුණරත්න යනවිනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

පළාත් පළාන ආයතන වල සීමවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් 2017 පෙබරවාරී 17 වැනිදා අංක 2006/44 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බවත් එහිදී වගඋත්තරකාර පළාත් පාලන ඇමතිවරයා විසින් සිය බලය අභිභවා යමින් බහුවිධ මන්ත‍්‍රී ආසන, කේවල මන්ත‍්‍රී ආසන වශයෙන් මාරු කළ බවත් පෙත්සම්කරුවෝ සඳහන් කර සිටිති.

එබැවින් අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම විභාග කොට අවසන් කරන තෙක් ගැසට් නිවේදනය බලාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මඟින් ඉල්ලා සිටිති.