(රෝෂන් තුෂාර)

ආගමකට (ඉස්ලාම් දහමට) අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව මාස නමයක සිර දඬුවමක් නියම කළ නඩුවට පෙනී නොසිටි  බොදු බල සේනා සංවිධානයේ මහලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින්  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා  අද (01) වරෙන්තු නිකුත් කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන්  පෙනී  නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ අසනීප තත්ත්වය හේතුවෙන් විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටින බවය.

2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී "ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ." යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින්  පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව 2025 ජනවාරි 09 වන දින  මහේස්ත්‍රාත් අධිකරණය  මෙම දඬුවම ඥානසාර හිමියන්ට නියම කළේය.

දඬුවම ක්‍රියාත්මක නොකිරීමට හේතු ඇත්නම් ඊයේ දින ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය නියම කොට තිබිණි.

මහේස්ත්‍රාත් අධිකරණ  තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් විසින්  මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි බැවින් වරෙන්තු නිකුත් කරමින් නඩුව නොවැම්බර් 05දින කැඳවීමට දින නියම කළේය.