(අංජුල මහික වීරරත්න)

ගම්පහ මහනගර සභාවේ සියලුම අංශ සම්බන්ධයෙන් විගණනයක් සිදුකොට සති දෙකක් ඇතුළත තමාට වාර්තාවක් දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ නාගරික කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.

 සේවාවන් ලබාගැනීමට නගර සභාවට එන ජනතාව අපහසුතාවට පත්වන බවට ජනතාවගෙන් මෙන්ම මහජන නියෝජිතයන්ගෙන්ද තමන්ට පැමිණිලි ලැබී තිබෙන බව අමාත්‍යවරයා කීය.

මීට ප්‍රධාන හේතුව නිලධාරීන්ගේ  දුර්වලතා බව කී අමාත්‍යවරයා එවැනි නිලධාරීන් ඉවත්කර වැඩකළ හැකි නිලධාරීන් සමඟ ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට තමන් සූදානම් බවද සදහන් කළේය.

ගම්පහ මහනගර සභාවේ පැන නැගී ඇති ගැටලු විසඳීම සදහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.