
(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේ සිට මාර්ග හතක් ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ, අද (9) පෙරවරුවේ සිට ධාවනය කිරීම නවතා දමමින් වර්ජනයක් ආරම්භ කොට තිබිණි.
ගම්පහ - කොළඹ ( මාර්ග අංක 200 ) , කිරිදිවැල ( මාර්ග අංක 205) , කඩුවෙල ( මාර්ග අංක 1/ 228) , පූගොඩ (207), පහළ යාගොඩ ඇතුලු මාර්ග කිපයක බස් ධාවනය කිරීම මෙලෙස නතර කොට තිබූ අතර ප්‍රධාන බස් නැවතුම් පොලෙන් ගමන් අරඹා නගරයේ පොදු රථ ගාල අසල නවතා මගීන් ගැනීමේදී , පොලීසිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විරෝධය පළ කරමින් වර්ජනය කරන බව ඊට හේතු දක්වමින් පෞද්ගලික බස් රථ සේවකයින් කියා සිටියහ.
මෙම වර්ජනයට අනෙකුත් මාර්ගයන්හි බස් රථ ධාවනයෙන් ඉවත්ව එක්වන බව දැනුම් දී ඇති බව ගම්පහ බස් නැවතුම්පොලෙහි ස්ථාන බාර නිලධාරී සම්පත් ජයවීර මහතා සදහන් කළේය.
මෙම පෞද්ගලික බස් සේවක වර්ජනය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී සදහන් කර සිටියේ, බස්රථ ප්‍රධාන බස් නැවතුම් පොලෙන් ගමන් අරඹා නැවතුම් පොලක් නොමැති ස්ථානයක නවතා මගීන් ගැනීම හේතුවෙන් නගර මධ්‍යයේ මාර්ග තද බදයක් සිදුවන තත්ත්වය සහ මෙම අවහිරතාවය සම්බන්ධයෙන් නාගරික වෙළඳ සංගමය මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව විසින් සිදු කළ දැනුම්දීම සලකා මෙලෙස නීතිමය පියවර ගැනීමට පොලිස් රථවාහන අංශය කටයුතු කරන බවය.
මේ සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතාගෙන් කළ විමසිමේදී කියා සිටියේ, පවතින තත්ත්වය සමතයකට පත් කර ගැනීම පිනිස අදාල අංශ සමග සාකච්ඡා කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනය ට බයේ පොලිසිය ගත් පියවර පස්සට ගන්න එපා. මෙයාල යනව නෙවෙයි ගාටනව. ඒකෙන් විශාල මාර්ග තදබදයකුත් ඇති වෙනව . ගම්පහ ඉඳල උඩුගම්පොළ , මිරිස්වත්ත පාරවල් විශේෂ යි.