(යොහාන් භාසුර)

විරෝධතාවක් අතරතුරදී පොලිස් කාන්තාවකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර තර්ජනය කළ උසස් පොලිස් නිලධාරියාගේ සේවය වාහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (14) පැවසුවාය.

ජනතාවගේ ආරක්‍ෂාව සැලසීමට සිටින පොලිසියේ උසස් නිලධාරියෙක්, පොලිසියේම නිලධාරිනියකට ඉතාම අප්‍රසන්න සහ නින්දිත ලෙස බෙල්ලෙන් අල්ලා තල්ලු කරමින් තර්ජනය කිරීමේ අසික්කිත වැඩේ ඉතාම බළවත් ලෙස කණගාටු වෙමින් හෙලා දකින බව කී කුමාරසිංහ මහත්මිය පොලිසියේම නිලධාරිනියන්ට මේ ආකාරයට සළකන්නේ නම් මහ ජනතාවට මොනවා කරනවා ඇද්දැයි ද සඳහන් කළාය.

පොලිස් සේවයේ මේ වන විට කාන්තාවන් 9,000 ක් පමණ සේවය කරන බවත් මව්වරු දියණියන් පොලිස් සේවයට එවන්නේ මෙවැනි දේවල් බලාපොරොත්තුවෙන් නොවන බවත් ඇය කීවාය.