(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත පෙට් ස්කෑන් (PET) යන්ත්‍ර ද්විත්වය උපරිම ධාරිතාවයකින් හා කාර්යක්ෂමතාවයකිත් ඉදිරියේ දී දින හතම ප්‍රතිකාර සේවාවන් සඳහා යෙදවීමට ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කළ ෆ්ලොරෝ ඩිඔක්සි ග්ලුකෝස් (Fluorodeoxyglucose - FDG) නිෂ්පාදනය භාවිතා කරමින් (PET) පෙට් ස්කෑන් පරීක්ෂණ සේවාවේ ප්‍රශස්ත කාර්ය සාධනය සහ පූර්ණ ක්‍රියාකාරී ධාරිතාවය ඉහළ නැංවීම නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයේදීය.

ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.

නව රජය බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ Access Engineering PLC ආයතනයේ සහයෝගීතාවයෙන් මෙම පරිවර්තනීය ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

ෆ්ලොරෝ ඩිඔක්සි ග්ලුකෝස් Fluorodeoxyglucose (FDG) ඖෂධය මෙරට නිෂ්පාදනය කිරීමෙන් මෙතෙක් සතියකට රෝගීන් 10 දෙනෙකුට පමණක් සීමා වී ඇති නිවැරදි පිළිකා රෝග විනිශ්චය, එවන් විනිශ්චය අවශ්‍ය දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රමාණයකට සිදු කිරීමේ අවස්ථාව උදාවේ.