(එස්. ඩී. කොඩිකාර සහ ඩී.ජි.සුගතපාල )

කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතරක වයිරස් උණ රෝගය පැතිර යාමට හේතුව වයිරසය ජල මූලාශ්‍රවලට එක් වීමෙන් ජලය අපිරිසිදු වීමෙන් හෝ ආහාර වලින් බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන්  ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණේ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයකින්ම උණ රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තා වීමත් සමඟ රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දෙමින් සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.

රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා පාසල් දරුවන්, මාපියන් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ක්ෂේත්‍ර පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීම සහ උණ රෝග ලක්ෂණ සහිත දරුවන් හඳුනාගෙන කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

දෙනියාය කලාපයේ සියලු පාසල් පරිශ්‍ර, පන්ති කාමර, වැසිකිළි පද්ධති, ජල ටැංකි, ජල කරාම සහ පාසල් පරිසරය විධිමත් ලෙස පිරිසිදු කිරීම සඳහා විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමු කෙරිණි.

ඊට අමතරව දෙනියාය ප්‍රදේශයේ ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ පෙර පාසල් තුළද මෙම රෝග තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.