කොංගෝවේ ව්‍යාප්තවන මාරාන්තික ඉබෝලා වයිරසය මේ වනවිට 100 දෙනකු බිලිගෙන ඇතැයි, අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන පරිදි ඉබෝලා ආසාදිතයන් ගණන මේ වනවිට 400 සීමාව පසු කර ඇත. මේ වනවිට කොංගෝවේ අසල්වැසියා වන උගන්ඩාවෙන් ද ඉබෝලා ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇතැයි ද අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි. ඉබෝලා වසංගත තත්ත්වය හේතුවෙන් කොංගෝ දේශසීමාව වසා දැමීමට තීරණය කර ඇතැයි ද පැවැසෙයි.

කොංගෝවේ ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉබෝලා වයිරසයේ බුන්ඩිබුගියෝ නමැති දරුණු ප්‍රභේදයයි. ඉබෝලා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ අප්‍රිකා කලාපයට වැඩි අවධානයක් යොමු කරමිණි.