ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති හොදින් පැහැදිලිව පවතින අඩු පීඩන කලාපය, මේ වන විට ' පීඩන අවපාතයක ' (depression) දකවා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

2026 ඔක්තෝබර් මස 31 වැනි දින පෙරවරු 11.30 වන විට, එම පද්ධතිය උතුරු අක්ෂාංශ 10.0° සහ නැගෙනහිර දේෂාංශ 90.2° ආසන්නයේ ස්ථානගතව පැවැතුණි 

මෙම පද්ධතිය  බටහිර-වයඹ දෙසට ගමන්ත කරමින‍්, 2026 ඔක්තෝබර් මස 31 වන දින රාත්‍රී 11.30 පමණ වන විට ගිනිකොණ දිග  බෙංගාල බොක්ක  මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ගැඹුරු පීඩන අවපාතයක දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්බාවිතාවක් පවතී.

තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් මස 01 වැනි දින පෙරවරු 11.30 පමණ වන විට ගිනිකොණදිග සහ ඊට යාබද නිරිතදිග හා බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.

ඉන් අනතුරුව, නොවැම්බර් මස 02 වැනි දින පස්වරු 05.30 පමණ වන විට අන්ද්‍රා වෙරළට  ආසන්න බටහිර මධ්‍යම බෙංගාල බොක්ක  මුහුදු ප්‍රදේශය වෙත ළඟා වනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

පහත සිතියමේ " අනතුරු ඇඟවීමේ " කාණ්ඩයට අයත් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය  විටින් විට පැයට කිලෝමීටර 70 දකවා ඉහළ යා හැකි අතර, ගිගුරුන් සහිත තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම මෙම  මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි. එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන  තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙයි.