රුධිර පීඩනය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත් හි පදිංචි ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ සායනික වෛද්‍ය පර්යේෂණ ව්‍යාපෘතියක් ලබන අප්‍රේල් මාසයේ සිට ඇරඹීමට කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පියවර ගෙන ඇතැයි එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේද අධ්‍යයන දෙපාර්තමේන්තුවේ (සායනික) සහ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය වෛද්‍ය අසිත ද සිල්වා මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා වයඹ පළාතේ පුත්තලම දිස්ත‍්‍රීක්කයේ දංකොටුව , කරුවලගස්වැව ඇතුළු ග‍්‍රාම නිලධාරී කොට්ඨාස 10 ක පිහිටි නිවාස 100ක පදිංචිකරුවන් පදනම් කරගනිමින් මෙම සායනික වෛද්‍ය පර්යේෂණය සිදු කිරීමට නියමිත බවද මහාචාර්ය අසිත ද සිල්වා මහතා කීහ.

මෙම විශේෂ සායනික වෛද්‍ය පර්යේෂණය ගැන දැනුම්වත් කරමින් එසැණට අදහස් දැක්වූ මහාචාර්ය අසිත ද සිල්වා මහතා පැවසූයේ ශ්‍රී ලංකාවට සමගාමීව  පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලද මෙම සායනික පර්යේෂණය දියත් වන බවයි.

එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ දෙපාර්තමේන්තුව, එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය හා වෙල්කම් ට‍්‍රස්ට් යන ආයතනයන් විසින් මෙම අධික රුධිර පීඩනය පාලනය කිරීම පිළිබඳ සායනික වෛද්‍ය පර්යේෂණය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන දෙකක මූල්‍ය ආධාර සැපයීම සිදු කරන බවත් ශ්‍රී ලංකාවේ ආදාළ පර්යේෂණයන් සිදු කිරීමේ මහඟු අවස්ථාව කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හිමිවූ බව  ඔහු සඳහන් කළේය.

බහුතරයක් දෙනා,විශේයෙන්ම දුෂ්කර පළාත්වල ජනතාව  මෙම රෝගය පිළිබඳ දැනුවත්ව නොසිටීම නිසා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ සායනයන් පැවැත්වීම මඟින්  ශ්‍රී ලංකාවේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන් ඖෂධ භාවිතය හරහා මෙම රෝග තත්ත්වය පාලනය කර ගත හැකිද යන්න ගැන මෙම ව්‍යාපෘතියෙන් විමසා බැලෙන බව ද ඔහු මහතා කීය.

බෝ නොවන රෝගයක් ලෙසින් අධික රුධිර පීඩනය පිළිබඳ දැනුම්වත් නොවීම නිසා මේවන විට මෙරට සියයට 20කට ආසන්න පිරිසක් ,එනම් සෑම පස් දෙනෙකුගෙන් එක් අයකුට මෙය වැළඳී ඇති බවට සෞඛ්‍ය පර්යේෂණ වලින් තහවුරු වී ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

‘අධික රුධිර පීඩනය දැන් ලංකාව තුළ බෝ නොවන රෝග වසංගතයක් ලෙසින් පැතිරී තිබෙනවා.මේ ගැන නොදැනුවත්වීම නිසා අපේ රටේ බොහෝ දෙනෙකු හෘදයාබාධ, ආඝාත වැනි රෝග වලට පවා නිරන්තරයෙන් ගොදුරුවීමේ ප‍්‍රවණතාවයක් ඇති වි තිබෙනවා. නිසි පරිදි ඖෂධ භාවිතය තුළින් එම රෝගය පාලනය කළ හැකි බව ලෝක වෛද්‍ය මතය වී තිබෙනවා.නමුත් නොයෙකුත් හේතුන් නිසා ලංකාවේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන් නිවැරදි වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම සිදු වන්නේ ඉතාම අල්ප වශයෙන් , විශේෂයෙන්ම රෝග පාලනය සඳහා නිවැරදි ඖෂධ භාවිතය ඉතාම වැදගත්, අපේ රටේ දුෂ්කර පළාත් මෙවැනි දෑ අනුගමනය කිරීම ඉතාම අඩුයි. අධික රුධිර පීඩනය පාලනය කිරීම පිළිබඳව කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මෙම සායනික පර්යේෂණය සිදු කරන්නේ මෙවැනි පසුබිම තුළයි. මෙම පර්යේෂණ කටයුතු සඳහා මමත් සමඟ කැළණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න රණසිංහ , කථිකාචාර්ය වෛද්‍ය නතාෂා ලූක් , වෛද්‍ය පීඨයේ  මහජන සෞඛ්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අනුරාධීනී කස්තුරිරත්න , කථාකාචාර්ය වෛද්‍ය මානුෂා පෙරේරා සහ කථිකාචාර්ය වෛද්‍ය දිලීප එදිරිවීර යන මහත්ම මහත්මීන්  එක්වී සිටිනවා‘ යැයි ද ඔහු  කීවේය.

Untitled-1

මහාචාර්ය වෛද්‍ය අසිත ද සිල්වා සහ ජෙෂ්ඨ කථීකාචාර්ය වෛද්‍ය චන්න රණසිංහ

 

(ජායාරූප - අමිල ගමගේ)